ගී පද රචනය - නිලාර් එන්. කාසිම්
සංගීතය - රෝහණ වීරසිංහ
ගායනය - නිරෝෂා විරාජිනී
අහස විදගෙන
අහස බිඳගෙන
ඇය පලා ගිය තැනයි ඔය සඳ
ඇය පලා යන දෙසට මා තැබූ
වෙඩි සිදුරු කළ
තැනුයි ඔය තරු
සඳ... ඒ සඳ සඳමය. සඳ විවරණය කරන්නට උපමාවක් මම නොදන්නෙමි. එහෙත් එහි අසිරිය කොතෙක්දැයි පහදන්නට මම දන්නෙමි. සඳ ඝනදුර දුරුකරලනන්ට අහසට පැමිණි අසිරිමත් මායාවක්යැයි වරෙක සිතේ. එහි සිහිලස සිත නිවමින් එහි සුදුමුදු කිරණ රහසේම සිත අවුළුවතියි සිතේ. එහෙත් ඒ සඳ සියල්ල අවසන සොඳුරුය. කොතෙක්නම් සොඳුරුදැයි කියන්නට නොවෙහෙසෙන්නට සිතෙන තරමට ඒ සඳ සොඳුරැය.
අහස විදගෙන
අහස බිඳගෙන
ඇය පලා ගිය තැනයි ඔය සඳ
ඔබ මා හැර ගිය තැන - ශෝක රසයක් හිත දෝවනය කරයි. හිත සසලවයි. එහෙත් ඔබ මා හැර ගිය සඳ මගේ හදවතේ ඇතිවූ මහා කුහරය මට ඔබේ මතක පාර දිගේ තනියෙන් ඇවිද යන්නට බල කරයි. ඔබ මා හැර ගියේ මට අත දිගු කර රඳවාගත හැකි තැනකට නොවේ. ඔබ පලා ගිය තැන යොදුන් මෙපමණයැයි නොදන්නා අනන්තයකි. ඒ අනන්තය තුළ ඔබ කිසිදා මට හිමිකර ගනු බැරි බව මම දනිමි. එහෙයින් ඔබ හැර ගිය තැන මට සඳයැයි සිතේ. අනෙක් අතට ඔබ මා හැර ගියත් ඒ හැරයාම දක්වා ඔබෙන් ලද ප්‍රේමය, ප්‍රේමයේ මතක ශෝකයේ සියලු සංවේදනාවන් මැද වුවද කියන්නට බැරි තරම් සුන්දරය. ඔබ මා හැර පලා යද්දී මා තැබූ වේදනාවේ වෙඩි මට පෙනෙන්නේ අහස පුරා විසුල තරු ලෙසටය. වේදනාවක වෙඩිල්ලක වුවත් වෛරයක් නැත. ඒ වේදනාව සඳ පසුපස වැටි වැටී යනු මිසක සඳ හැර දමන්නට සූදානම් නැත.
ඔබ ගියාම දුක මට දී..
නිලාර් එන් කාසිම්ගේ ඔබ ගියාම දුක මට දී ගීතය ඇසෙද්දී ප්‍රියලාල් කොග්ගල කවියාගේ රැහැයියනි රැය ගෙවුණි නම් කාව්‍ය සංග්‍රහයේ එන මේ කවිය මගේ මතකය අද්දරට පැමිණේ.
ප්‍රේමය විඳින සඳ සොඳුරුය. මේ මහා පොළොව මත මැවුණු සුයාමය අනෙකක් නොව, ප්‍රේමයම යැයි සිතෙන තරමට ප්‍රේමයත් ප්‍රේමය හා යා වුණු වින්දනීය ඉසව් යායත් සුන්දරය.
ජීවිතයේ සියලු සන්තකයන් ඒ ප්‍රේමය තුළ කේන්ද්‍රගතව ඇතැයි සිතෙන තරමට ආත්මීය බැඳීමක් ප්‍රේමය දනවයි. නොඉල්ලා කිසිවක්ම බොහෝ දේ දන් දෙන වනස්පතියක වෙසින් බෝසත් ගුණ ඇති අධ්‍යාත්මික ප්‍රේමය ජීවිතය තුසිතයක් බවට පරිවර්තනය කරයි. ඉඳින් ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්ද?
එහෙත් ප්‍රේමය බිඳී ඉහිරී ගිය තැන.. ප්‍රේමයේ අවසානය විරහී වේදනාවක් බවට පත්වූ තැන.... අතීත මතක පුරාණය හද අබියස යාවත්කාලීන වෙමින් හද මොහොතක් මොහොතක් පාසා රිදුම් දෙවන විට ඒ වියෝ දුක මහා සාගරයටත් වඩා අසීමාන්තිකයක්යැයි සිතේ.
නිලාර් ඒ විරහවට බෝසත් ගුණ කැටි කරතැයි මට සිතේ. පලිගැනීම, වෛරය, ඇසිඩ් බෝතලය, පිහි ඇණුම් වෙනුවට ඉවසිලිවන්ත ලෙස විරහී වේදනාව දරා උසුලාගෙන දුක දරාගන්නා ප්‍රේමයේ බෝසත් ගුණය නිලාර් මතු කරන්නට යත්න දරතැයි ද මට වරෙක සිතේ.
ඔබ ගියාම දුක මට දී
දුක දරාගන්න නොහැකී
විරහව, සමුගැනීම කොතෙක්නම් රුදුරුදැයි කියන්නට වචන මමත් නොදනිතැයි සිතේ. හදවත වාවා ගත නොහැකිව හද පැලී මියැදෙතැයි කියන ප්‍රේමයේ පරාජිතයන් මට මුණගැසී ඇත. මා ඔබ හැර නොගියෙමි. ඔබ මා හැර ගියා පමණි. මා ඔබ හැර නොගියෙන් ඔබ මා හැර ගියත් තවමත් මා ඔබ ළඟමය. දුක ඉතුරැකර දුන් සෙනෙහසත් රැගෙන ඔබ ගොස් ඇත. යළි නොඑන්නම නොපැමිණෙන්නම ඔබ ගොස් ඇත. ඉතින් ඒ දුක දරගනු කෙලෙසද? පරාජිත ප්‍රේම සිතක් එලෙසින් දිගහරින නිලාර් ඒ ප්‍රේමය හද ගැබ දරාගෙන මැවූ සිහින කන්දරාව ගැන කියන්නට අපූරැ සංකේතයක් යොදා ගනී.
ටජ් මහල්...
ටජ් මහල් යනු නොබිඳුණු ප්‍රේම පුරාණයක ඉතිහාස සාක්ෂියකි. මේ ප්‍රේමවන්තිය ඇතැම් විට භෞතික සාධක අතින් දුප්පත් විය හැක. එහෙත් ප්‍රේමය අතින් ඇය ප්‍රේම උල්පත් හද දරාගත් මහා පොහොසත් හැඟුම් ඇත්තියකි. නිලාර් මේ ගීතයේදී ටජ් මහල් සිහින ගැන කියන්නේ ඒ හැඟීමෙන් යැයි සිතේ. එහෙත් මැදුරක් සදිසිව මැවූ සිහින බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉහිරී ගිය මොහොතක සිත යන එන මං අහිමිව ඉකිලයි.
ටජ් මහල් සිහින ඉහිරී
සිත අනාථ වී සරමී
ඔබ ගියාම දුක මට දී
හිරු හදිස්සියෙන් මියැදී
ලොව සැණෙන් අඳුරෙ ගිලුණී
තරු උමතු දුකින් දැවුණී
ඔබ දුක දී වෙන්වූ සඳ පෙම්වත් සිතේ සියලු වැළපීම්, හඬාවැටීම්, විඳවීම් ගී පද රචකයා සියුම් ඇඟිලි තුඩු අගිස්සෙන් පිරිමැද බලයි. ඔහු ඇගේ ලෝකයම වූ බවට නිලාර් ගීය ඔස්සේ සන්නිවේදනය කරන්නේ අපූරු සාක්ෂියක් ගෙනහැර දක්වමිනි.
මේ මහා විශ්වයට ඇති විසල් ශක්තිය හිරුය. හිරු එක දවසකට ලෝකයට නෑවිදින් සිටියොත් කළුවර දරාගනු නොහැකිව මුළු ලෝකයම උමතු වෙතැයි සිතෙන තරම්ය. හිරු නොපෑයූ වේදනාවෙන් මුළු ලෝකයම ගිනි ගනිතැයි සිතෙන තරම්ය. ඒ හිරුය. සංසාරගත බැඳීමක් ලෙස දැනෙන ප්‍රේම බන්ධනයකදී ඔහු හෝ ඇය තම ලෝකයේ හිරු සඳුයැයි සිතේ. නිලාර් කියන්නේ මේ ප්‍රේමවන්තියගේ ලෝකයේ හිරු ගැනය. ඒ හිරු ඇය අපමණක් පෙම් කළ ඔහුය. ඇය නොසිතූ නොපැතූ අනපේක්ෂිත මොහොතක ඔහු සමුගත් බවට ගීතයේ පද මේ ලෙසින් ඉඟි දෙයි.
හිරු හදිස්සියෙන් මියැදී....
හිරු හැර ගියා නොව මියැදුණාය. හැර ගිය කෙනෙක් යළි පැමිණිය හැකිය. එහෙත් මියගිය කෙනෙක් මතකයක් පමණි. ඔහු යළි නොපැමිණෙයි. ජීවිතයට හිරු සදිසිව ශක්තිය සාරය කැටි කළ ප්‍රේමය නොඑන්නම කොහේ හෝ දුරකට ගොස් ඇත. ඒ ගිය නැවතුම හේතුවක් කරණ කොටගෙන සිදුවූ හැරයාමක් නොව මරණයෙන් දෙදෙනකු වෙන් කළ විට උරුම වෙන දරාගත නොහැකි වේදනාවක්දැයි ගීතය ගැඹුරින් අරුත් පසිඳිද්දී සිතේ.
හිරු හදිස්සියෙන් මියැදී....
ප්‍රේමය හිටිවනම හැර ගොස් ඇත. ජීවිතයක් හිරු මෙන් පොබ කළ ප්‍රේමයකි ඒ හැර ගොස් ඇත්තේ.
ලොව සැණෙන් අඳුරෙ ගිලුණී...
මුළු ලෝකයම එළිය කළ එකම හිරු පහන නිවී ගිය සඳ ඉතිරි වී ඇත්තේ අන්ධකාරයක්ම මිස අන් කවරක්ද?
තරු උමතු දුකින් දැවුණී....
ඒ තරු ප්‍රේමය විසින් මෝදු කළ සහසක් පැතුම් සිහින බලපොරොත්තු යැයි සිතේ. ප්‍රේමය නොඑන ගමන් ගිය දවස ඒ පැතුම් සිහින බලපොරොත්තු වියරුවේ දුකින් දැවුණී.... මේ ප්‍රේමවන්තයන් වෙන් කර ඇත්තේ අන් කවරක් විසින්වත් නොව මරණය විසින්ම යැයි සිතෙන තරමට ඇගේ සිතේ ඇදුම් දෙන විරහී වේදනාව මහා ප්‍රකම්පනයකි. අනෙක් අතට එය එසේ නොවුණානම් මේ සා බෝසත් ගුණයකින් හා ඉවසිලිවන්ත දයා ගුණයකින් දොසක් නොකියා විරහවේ වේදනාවන් දරා ගත හැකිදැයි ප්‍රශ්නාර්ථයක් නැගේ. අනෙක් අතට මට මගේ ජීවිතය භෞතිකව හදාගන්න ඔබට වඩා වත්පොහොසත්කම් ඇති කෙනෙක් මුණගැසුණු බැවින් මා ඔබ හැර යමි... යන සිතුවිල්ලෙන් වෙන්වුණත් ඈ හද පිරූ දිව්‍යමය ප්‍රේමයේ සොඳුරැතා නිසාම ඇය එය මෙලෙස දරාගන්නවාදැයි යන්නට ද සිතුවිලි මැවිය හැක. වෙන්වීමේ හේතුව කවරක් වේවා ගී පද රචකයා ඒ විරහී දුක දරාගන්නා පරාජිත මනසේ උත්තුංග ප්‍රේමණීය වටිනාකම් මතු කරන්නට සාධාරණ උත්සාහයක් ගෙන ඇතැයි සිතේ.
ඔබ ගියාම දුක මට දී
ඔබ ගියා කියා නොසිතී
ඔබ ගැනම සිහින පුරමී
දුක තුළද ඔබම දකිමී...
ප්‍රේමය මේ විශ්වයේ මහා අසිරියයි. වරෙක ප්‍රේමය හදවතේ ඇතිකරන හිස්තැනක් වුව හිස්තැනක් ලෙස නොහැඟේ. මුළු ආත්මයම ප්‍රේමණීය සිතුම් දැහැනකින් කිති කැවේ. හැර ගියත් හැර ගිය බව නොදැනේනම් ප්‍රේමය ඒ ජීවිතයේ සදාතනික සෙවණැල්ල බවට පත්ව ඇත. ඔබ ගියත් ඔබ ගැනම යළි යළිඳු සිහින දකින්නේනම්... ඒ ප්‍රේමය ජීවිතයේ මහා ප්‍රබල උත්තේජකයක් වී තිබූ බවට ඊටත් වඩා සාක්ෂි කුමකට?
දුක තුළද ඔබම දකිමී...
නිලාර් යළි යළිත් මේ කියන්නේ ප්‍රේමය ප්‍රේමයම මිස අන් කවරක්වත් නොවන බවයි. මට හිමි විසල් වේදනාවන් තුළද මම දොසක් නොදකිමි. දොසක් නොකියමි. ඔබම ඔව් ඔබම දකිමි. ප්‍රේමයේ බෝසත් ගුණ මේ ඉවසිලිවන්ත දරගැනීමම මිස අන්කවරක්ද? ඇතැම් විට පිරිමියෙකුට ප්‍රේම සබඳතාවක් යනු ජීවිතයේ තවත් එක් සංසිද්ධියක් පමණක් විය හැකි වුවත් යුවතියකට ප්‍රේමයක් යනු ඇගේ ආත්මයම වේ. සිය පෙම්වතා තමන් හැර ගියත් ඔහුගෙන් තොර ජීවිතයක් ඇයට නැත.
සතුට තුළදී මෙන්ම දුක තුළදී ද ඔහුම මිස අනෙකෙක් ඇයට නොහැඟේ. ස්ත්‍රී චිත්ත සන්තානය ප්‍රති නිර්මාණය කිරීමේදී මෙහිලා රචකයා දක්වා ඇති සූක්ෂමතාව අපගේ අවධානයට යොමු විය යුතුය. එසේම ගීතයේ ස්ථායි සහ අන්තරා කොටස් සියල්ල ඇරඹෙන්නේ ඔබ ගියාම දුක මට දී යන පද පෙළෙනි.
සමස්ත ගීතය තුළ යළි යළිත් නින්නාද වන ලෙස එම හැඟීමම මෙසේ පුනරුච්ඡාරණය කිරීම සහෘදයාගේ සිත එකී විප්රලම්බ ශෘංගාරයෙන් කම්පනය කරවීමට සමත්ය.
► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර